එළිය හඳුනන රෑ කුරුල්ලෙක් උදෑසනකට අඬගසයි,...

Sunday 16 September 2012

෴ යාත්‍රාව පදවන්න මා සමග එක් වන්න...෴




සුන්දර රාත්‍රියක් මෙ තරම් කවදා උදාවේද නොදනිම්.......

 

උදාවන හැම රාත්‍රියක්ම  මතකයේ නොරැ‍ඳෙන නමුත් ඉඳහිට එවැනි විරල අවස්ථාවක රැයක අසිරිය විඳ ගැනිමට ලැබෙන්නේ කලාතුරකිනි. ස්වභාව සෞන්දර්යයේදීත්, කවියේ මෙන්ම ගීතයේදීත් හමුවන එවන් රැයක සුන්දරත්වය ඇතැම් විට සදානන්ද කරවූ මිහිරක් ළඟා කර දෙයි.  ඇතැම් විට එවන් රැයෙක සවනට මුසුවන ගීයක් කෙනෙකුට සතුට සැනසුම ගෙන දෙන නමුත් තවත් කෙනෙකුගේ හිත වේදනාවෙන් පුරවා දමයි. රාත්‍රියක පැහැය කුමක්ද කියා ඇසුවොත් පිළිතුරක් දිය හැක්කේ “කලු පැහැය” කියාය. පැහැය කලු වන්නේ හඳුනාගැනිමට තරම් කිසිම සංකේතයක් හෝ වර්ණයක් එහි නැති නිසාය. එවන් රාත්‍රියක සඳ තරු වලට ඉඩදී පීදෙන කුසුමක  පවා රැදී ඇත්තේ එකම එක පැහැයයි. ඒ ශ්වේත වර්ණයයි. ගෙවුණ සිකුරාදා රාත්‍රියද එවැනි සුන්දර රාත්‍රියකි.  ජීවිත මතක සටහන් අතර අලුතින් ලියා තැබු ඒ රාත්‍රියද සුන්දර රාත්‍රියක්ම විය.

සිය දහස් වාරයක ඇය පොදු ජනතාවගේ ගායිකාව වූවාය. පැලේ පිලේ වෙසෙන අහිංසක දුප්පත් ගැමියාගේත් මන්දිරයේ වෙන  මහා ධනකුවේරයාගේත් වෙනස ඇය හොදින් හඳුනන අපේ ගායිකාවය. පීඩිත දනන් වෙනුවෙන් ගී ගයන මග තොටේ දකින ගැහැනිය ඇයය. අති ප්‍රබල ගී හඬක් ඇය සතුය. මා එසේ සදහන් කළේ සුවහසක් ගී රසිකයන්ගේ ආදරය හා ගෞරවයට පාත්‍ර වූ  නන්දා මාලනියගේ මනෝරම්‍ය ගායනයෙන් සුසැදි "ශ්වේත රාත්‍රිය" ඇයගේ අවසන් සජීවි ගී ප්‍රසංගය රත්මලානේ පිහිටි සිරස ගුවන් විදුලියට අයත් "ස්ටයින්" මැදිරියේදී විසි හය වන වතාවටත් ගැයූ අයුර හිතේ තවමත් රැව් දෙන නිසාය.

ශ්වේත රාත්‍රිය අවසන් ප්‍රසංගය පිළිබඳව අත්තම්මගේ පෙට්ටගම ලියන අපේ හිත මිතුරු ලොකු ජෝන්  සහෘදයානන් විසින්ද මේ ප්‍රසංගය පිළිබඳ  සටහනක් තබා ඇති බවද මුලින්ම සටහන් කරමි.

ගමට සහ නගරයට සමව බෙදු සංගීත රසය

අගනුවර මෙන්ම, අම්පාර ගී රසිකයන්ටත්, මාතර, ගාල්ලේ මෙන්ම අනුරාධපුරේ ගී රසිකයන්ටත් වෙනසක් නැතිව අඩු නැතිව ගී රස මිහිර බෙදා දුන් ශ්වේත රාත්‍රිය ඒක පුද්ගල  ප්‍රසංගය,   ප්‍රසංග කලාවේ ඉතිහාසයට එකතු වු අති විශිෂ්ඨ ප්‍රසංග මාලාවක නිමාවේ  සුන්දරම මතකයක් බවට පසක් කල රාත්‍රියක් වුවද,  එහි ගැලූ ගී ගඟුල තවත් දශක කීපයක් පුරා රසික් සිත් තුළ  රැව් දෙනු ඇත.  වසර දෙකක් වැනි කෙටි කාලයක් පුරා මනා සංවිධානයකින් සහ සැළසුමකින් යුතුව  මාසයකට එක ප්‍රසංගයක්  බැගින් ප්‍රධාන නගරයන් සිසාරා හමා ගිය  ඇයගේ සුමියුරු ගී රාවය අවසන් ප්‍රසංගයේ පැය දෙකක කාලයේද  ගඟුලක් සේම ගලා ගියාය.
ශ්වේත රාත්‍රිය නන්දා මාලනියගේ ගී මගෙහි ඉතාම කෙටි චාරිකාවක් වුවද ඒ ප්‍රසංග මාලාව වටා රොක් වූ සිමිත රසික පිරිස හරවත් ගීතයේ පරමානන්දයේ  මිහිර වින්ද බවට සැකයක් නැත. සමස්තයක් ලෙස හැම ප්‍රසංගයක් වටාම එක් වූ ගී රසිකයන්ගෙන්  පැහැදිළි වූයේ සුභාවිත ගීතයේ රස මිහිර  රසිකයන්ට අත්‍යවශ්‍යම මොහොතක නන්දා මාලනිය සිය  ගී ප්‍රසංගය නිමා කිරිම හරසුන් ගී රැල්ල තුළ  සුභාවිත ගීයට  රික්තයක් ඇති කළ සඳහන් කළ යුතුමය.

ශ්වේත රාත්‍රිය මුල්ම ප්‍රසංගයේ පටන් අවසන් ප්‍රසංගය දක්වා වේදිකා ගත වූ හැම ප්‍රසංගයක් වටාම  රසික පර්ශද සැදී පැහැදි සිටියේ හරවත් ගී පිපාසයෙන් පෙලෙන රසිකයන් හරසුන් ගීත  සංස්කෘතියෙන් මුදවා ගැනීමේ කාර්යය ගායිකාවක වශයෙන් නන්දා මාලිනිය වෙත පැවරෙන බව තහවුරු කරමිනි.

අන්තිම රාත්‍රිය
 
සිකුරාදා සවස  අවසන් ප්‍රසංගයේදී ද ශ්වේත වර්ණයෙන් සැරසී ඇය වේදිකාවට පිවිසියේ දශක පහක් පුරා ඇයගේ ගමනට අත්වැල සැපයූ සිය රසික සහෘද පිරිසට හිස නමා  බුහුමන් දැක්වීමෙනි.  විටක කලාවැව සේ නිසලවද  , තවත් විටෙක වැව්තලය සිසාරා ඇදෙන සිහින් දිය රැල්ලක් සේ ම සිය මධුර මනෝහාර ගායනයෙන් ඒ දැවැන්ත වේදිකාව මත රසික සිත් යළි යළිත් අතීත ගී මංපෙත් ඔස්සේ අවදි කළාය.

කලාවැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මටමැ වටී
බෝධියකින් වට බෝ කොලයක් සේ
අගී අගී ඔබ මටමැ අගී

වැව්තලයක් සේ ගීතයේ දැහැන් ගතව සිටින සිය රසික හමුහයා යට කලා වැවෙන් දෝතට ගත් දිය දෝතක්  තරමටම අගේය. බෝධියකින් ගිලිහෙන බෝපතක්  බිමට පතිත වනු නොදී රැකගන්නේ යම් සේද ඇය සිය ප්‍රාණවත් ගායනයෙන් සිය රසික පිරිවර රැක ගන්නීය. 


සංසාර සාගරේ ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමි

ප්‍රදීපාගාරයක ආලෝක වලල්ලක් එවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි මං ලකුණු දන්වන්න
නැංගුරම් ලන තැනට
පෙනෙන සේ ඔබ ඉන්න

වෙරළ වෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී
දුර්ග වූ ගමන් මග විඩා ගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න
මා සමග එක්වන්න.

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: සරත් දසනායක
ගැයුම : නන්දා මාලනී



සිරස විසින් සිරස නිවැරදි  කිරිම:

ලංකාවේ එෆ් එම් ගුවන්විදුලි නාලිකාවලට හරසුන් ගීත සංස්කෘතිය හඳුන්වා දිමට පුරෝගාමි වුයේ සිරස ගුවන් විදුලියයි. අවර ගණයේ ගීත තොග ගණනින් බිහිවීමේ කලාව ඇරඹුණේ සිරස නිසාය. KKV ටාසන් බාප්පලා හැදුවේ සිරස ය. සතියේ හොඳම ගීත දර්ශක හැදුවේත් සිරස ය. ඒ හරහා පසු කාලයේ කිසිඳු වැදගැම්මකට නැති ගීත එලියට පැන්නේය. සුපර් ස්ටාර් තරු වැඩසටහන් හැදුවේ සිරස ය. ගුවන් විදුලි මාධ්‍ය කලාවේ නැවුම් ඉසව් එසේ බිහිවෙද්දී සිරස ඒවාට මුල්තැන දුන් නිසාම සෙසු එෆ්.එම් නාලිකාද අලුත් යමක් නිර්මානාත්මකව කර ගනු බැරිව සිරස ගත් මගම අනුගමනය කළේය. කල් යත්ම සිරස ගුවන්විදුලිය මාධය ආයතනයක් ලෙස තමන් සිදුකල වැරැද්ද ඔවුන් විසින්ම අවබෝධ කරගත්තේය. ඒසේම ඒ වැරදි මග නිවැරදි කර ගැනිමට යුහුසුලු වී ඒ සදහා විවධ මං සෙවීය. මියැසි අරණ  සහ මියැසි තටාකය මගින් එකී ගමන් මග නිවැරදි කර ගනිමින් ගීතය සමග බුද්ධිමය සංවාදයක යෙදීම අවශ්‍ය බව ඔවුහු වටහා ගත්හ.

එහි කූඨ ප්‍රාප්තිය වූයේ සිරස හැදූ වාණිජ වේදිකාවට කලාත්මක මුහුණුවරට  වික්ටර් රත්නායක සහ නන්දා මාලනිය රැගෙන ඒමය. එයින් නොනැවතී කල් යල් බලා  දැවැන්තම ප්‍රසංගය ලෙස  නන්දා මාලනී, සුනිල් ආරියරත්න  සහ සිරස ගුවන්විදුලිය   නිමැවූ ශ්වේත රාත්‍රිය වචනයේ පරිසමාප්ත අරුතින්ම විශ්ෂ්ඨ සංගීතමය අත්දැකිමක් ලෙස සටහන් කර  විශිෂ්ඨයන් අතර අති විශිෂ්ඨයා ලෙස සිය කීර්ති නාමය තහවුරු කර ගත්තේය.

ඔවුන් නන්දා මාලනිය සහ මහ ඇදුරු සුනිල් ආරියරත්නයන් මනාව අධීක්ෂණය කර මේ වැඩසටහන සැළසුම් කර තිබූ බව හෙළිවන්නේ මේ ‍ශ්වේත රාත්‍රිය ප්‍රසංග වාර විසි හය පුරාම රසිකත්වය මුල් තැනෙහි ලා තබා තිබූ නිසාය. ටොපි සිගරට් විකුණන්නන්, කඩල වෙළෙන්දන් නැති වෙළඳ දැන්වීම් බැනර් හතර වටේ තැන තැන නොඑල්ලුණ තැනක් බවට ශ්වේත රාත්‍රිය වේදිකාව පත්කර තිබුණි. අනෙක් අතට ප්‍රධාන ආරාධිතයන් නැති, පහන් දැල්වීම් නැති වෙලාවට වැඩකරන, වෙලාවට අවසන් කරන පරමාදර්ශී තැනක් බවට ශ්වේත රාත්‍රිය පත්කර තිබුණි.

ඒ නිසා නන්දා මාලනියගේ ශ්වේත රාත්‍රිය සජීවි ගී ප්‍රසංගය සුභාවිත ගීයට කැමති සිංහල ගී රසිකයා සඳහා කරන ලද දැවැන්ත ආයෝජනයකි. එහි ප්‍රතිපලය හිමිවන්නේ අනාගත ගී රසික පර‍පුරටය. ඊට හොඳම නිදසුන වූයේ මේ ප්‍රසංගය සඳහා ප්‍රවේශ පත්‍ර අලවි කිරිමට දිනය නියම කරන විට අදාල දිනයේ ප්‍රවේශපත්‍ර නිකුත් කර පැයකටත් පෙර සියලු ප්‍රවේශ පත්  අලෙවි විමයි. එය යහපත් ගීත කලාවක් දැකිමට ප්‍රිය කළ රසිකයන්ගේ සේම මිහිරිම ගී රස බෙදු සිරස , නන්දා සහ සුනිල් සුසංයෝගය ලද ජයග්‍රහණයකි.

විලක් වුනත් නිල් දිය පිරි විලක් නොවේ
මලක් වුනත් සුවඳක් ඇති මලක් නොවේ
සඳක් වුනත් පසලොස්වක සදක් නොවේ
රටක් වුනත් මගෙ රට වැනි රටක් නොවේ


නෑවත් වතුර මල යට ඉඳ නළ වතුර
තාමත් සිතින් කිමි‍දෙමි ගඟ දිය අතර
කීවත් ගිත මැද පෙර දිග මරු කතර
කාටත් හොරෙන් කියවෙයි පැල් කවි නිතර

සායෙන් හඬන දූ දරුවන් උදෙසාම
ආයෙම් මෙහෙවරට නොරටුන් ළඟ මෙහෙම
බානෙන් බැඳී සිටියත් යදියන් සේම
හීනෙන් මගෙ රටෙයි නිදියන හැම රෑම

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: නන්දා මාලනී



ප්‍රේමය සහ යථාර්ථය අතරට මුසු වූ ගීතය

නන්දා මාලනියගේ ශ්වේත රාත්‍රිය  ප්‍රසංගය පුරා විකසිත වූයේ ආදරය ප්‍රේමය සහ විරහව පිලිබඳ ගැඹුරු වින්දනීය ගැයුම්ය. ප්‍රසංගය සදහා තෝරාගෙන තිබූ ගීතවලින් සියයට අසූවකට වැඩි ප්‍රමාණයක්  ආදරයේත්, ප්‍රේමයේත් එමෙන් ම විරහ වේදනාවේත්  විවිධ ගැඹුරු මානූෂිය සංකල්පනාවලින් පිරුණු  ගී  රසික සමූහය සමග සංවාදයකට ලක් කර තිබුණි. ඉතිරි සියයට විස්ස තත්කාලින සමාජය පිලිබඳ හෘදය සංවාදයක් රසික සමූහයා සමග ගොඩ නැගිමට වෙර දාරා තිබුණි.

වර්තමාන ගීත රසික පරපුර දෙස බලන විට සමාජය විනිවිද දැකීමේ ගැඹුරු දේශපාලන මතවාදයක් ගොඩනැගිමට ශ්වේත රාත්‍රිය ප්‍රසංගය අසමත් වුවත්, යම් හෙයකින් දේශපාලන මතවාදයක් ගොඩනැගිමට ශ්වේත රාත්‍රිය ප්‍රසංගයෙන්  උත්සාහ කළේ නම් එය මෙතරම් ජනප්‍රිය ගී ප්‍රසංගයක් නොවන්නට  ඉඩ තිබුණි.  එසේම එය වර්තමාන සමාජ රටාව හමුවේ මේ ගී ප්‍රසංගය සමාජයෙන් මෙන්ම කලාවෙන්ද හුදකලා විමට බොහෝසේ ඉඩ තිබුණි. ඒ නිසාම ප්‍රසංගයේ අතර මැදට වන්නට ඇයගේ  පූජාසනයේ, ධර්මාධිකරණයට, විලක් වුනත්, සද එළිය ගගක් වී , මගේ දේශය, පානං පත්තුවේ ඩිංගිරි අම්මාය,  ජේසු ස්වාමි දරුවනේ, වැනි ගීත හත අටක්  ශ්වේත රාත්‍රියට  ඇතුළත් වීම යම් පමණකින් සමාජ මතවාදයක් ගොඩනැගීම පිණිස හේතු වි තිබුණි එය සමස්ත කලාකරුවන්ගෙන් ගිළිහෙමින් පවතින සමාජ මෙහෙවරටත්, ඔවුන්ගේ මෙකල්හි ඒ සමාජ වගකීම නිවැරදිව ඉටු වන්නේද යන්න නැවත සිතා බැලීමට අවස්ථාවක් උදාකර ඊට මංපෙත් විවර කර දී තිබුණි .

සඳ එළිය ගගක් වී
මා නුවන් ඉවුරේ
හැපී පෙණ පිඩු නගයි
අනේ අපි කවදාක
පීනමුද ඒ ග‍ඟේ

මල් සුවඳ රටක් වී
මා නුවන් සයුරේ
ඒ රටට අඬගසයි
අනේ අපි කවදාක
හිනැහෙමුද ඒ රටේ

කිරි සිහින සඳක් වී
මා නුවන් අඹරේ
සිනාසී අතවනයි
අනේ අපි කවදාක
ඇවිදිමුද ඒ ස‍ඳේ

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: සරත් දසනායක
ගැයුම: නන්දා මාලනී



ස්වේත රාත්‍රිය ප්‍රසංගය නැරඹීමට අවස්ථාව උදා වූයේ මෙරට රසිකයන්ගෙන් ඉතාමත් සුලු පිරිසකට පමණි. ඒ සුලු රසික පිරිසේ උද්යෝගය මේ ප්‍රසංග මාලාව පුරාම ඇයට ලැබුණි. එහෙත් ප්‍රසංග වාර විසිහයක් වැනි කෙටි ගණනකින් මෙවන් ප්‍රසංගයක් හමාර වනු දැකිමට රසිකයන් ප්‍රිය නොකරන නමුත් එවන් වූ සුවිසල් වින්දනීය අත්දැකිමක් ලබා දෙන්නට යම්කිසි අනුග්‍රාහකයෙකු සිටිය යුතුමය. ගී රසිකයන්ගේ මෙන්ම පොදු ජනතාවගේ ආර්ථික මට්ටමද සළකා එකම පවුලේ සියලු දෙනාට මෙවන් ප්‍රසංගයක් අත්විඳීමට ගිය හොත් මාසයේ ඉතිරි දින29ක් කෙසේ ගෙවා ගන්නට සිදුවේද යන්න රසවින්දන හමුවේ ඇති ප්‍රධාන ගැටලුවයි. ශිල්පියෙක් තනිවම මෙවන් ප්‍රසංගයක් කළ හොත් සාමාන්‍ය රසිකයන්ට උපයන මුදල සමග යම් කිසි ප්‍රමාණයක  සැනසිල්ලක් වුවද එතරම් උසස් සංගීතමය අත්දැකිමක් නොලැබීම තවත් ගැටලුවකි. ඒනසා මෙවැනි උසස් ප්‍රසංග අත්දැකීම් මෙකල විඳින්නට නම් අනුග්‍රාහකයෙකු සිටිය යුතුමය.


පෙරදා මහ රෑ
මා සිහිළැල් උර මඩලේ‍
මුහුණ හොවාගෙන ළසොවින් වැලපුණ
කඳුළක කැළලක්  ඉතිරිවෙලා

උරහිස තැවරී වියළුණු කඳුළෙහි
ඔබගේ සුනරුත් පැතුම ගිනි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

ඔබහට පෙම් කළ යුගය නිමාකර
වෙන්වී යන්ට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: ස්ටැන්ලි පීරිස්
ගැයුම: නන්දා මාලනී


ඒක පුද්ගල ගී ප්‍රසංග කලාවේ හෙට දවස

වික්ටර් රත්නායකයන්ගේ  “ස”  ප්‍රසංගය ප්‍රසංගය වාර 1450ක් දක්වා පැමිණ  නිමාවට පත් කළේ  පසු ගිය ජූලි  20 වන දා ය. ඊට දෙමසකට පසුව නන්දා මාලනිය සිය ශ්වේත රාත්‍රිය ගී ප්‍රසංගයද සිකුරාදා රාත්‍රියේ අඳුරට මුදා හැරියා ය. ඉදිරියට සුභාවිත ගීයේ රස මිහිර සජිවි ගායනයකින් විඳින්නට   ඉතිරිව  ඇත්තේ සුනිල් එදිරිසිංහගේ "සඳකඩ පහණ” ගීත ප්‍රසංගයත්, එඩ්වඩ් ජයකොඩිගේ “මාරම්බරී” ගීත ප්‍රසංගයත් පමණි. ඒ හැර වෙනත් ගීත ප්‍රසංග මේ වන විට වේදිකාගත නොවේ.  එම ප්‍රසංග දෙක ගීත සහ ගැයුම් අතින් එකම ලක්ෂණ තිබුණද හරවත් බුද්ධිමය සංවාදයකට ප්‍රමාණවත් නොවේ. හරවත් ගීතයෙන් ඔබ්බට නූතන සමාජය විනිවිද දැකීමේ සංගීතමය කතිකාවක් ගොඩ නැගිම අත්‍යවශ්‍ය බව දැනේ.

ශ්වේත රාත්‍රිය අවසන් වුවද නූතන ගීතයේ සමාජමය මෙහෙවරක යෙදවීමේ  අවශ්‍යතාවයත් රස වින්දනය ඉහල තලයකට ළඟා කර ගැනිම සදහාත්,  නන්දා මාලනියගේ  ගීතයේ සෘජු මැදිහත්වීම පොදු ජනතාවට දැවැන්ත ශක්තියකි.

ඒ සියල්ල අප සිත් හි රඳවා තබා  සිකුරාදා රාත්‍රියේ හෝරා දෙකක්  පුරා  ඇය සඳ කිරණක් සේ ගී ගැයුවාය. ගීයෙන් ගීයට සමවදිමින් කලාවැව් තලයේ  දිය රළ තරඟ නැගෙන්නා සේ ඇය ගී ගැයුවාය. හදගැබ මෝරා වැඩෙන ආදරයේ උල්පත්වල මෙන්ම ප්‍රේමයේ සුන්දරත්වයද දුකද විඳිමින් රසික සමූහයා  සඳ එළියක් බඳු ඒ ගී ගඟුලේ කිමිදෙමින් ඒ හෝරා දෙක දැහැන් ගතව  සිටියහ. එක දිගට  ගී ගැයිමට තරම් ඇයගේ ගි හඬ තවම ශක්තිමත්ය. තියුණුය. ආදරයේත් ප්‍රේමයෙත් සුසංයෝගයේ හමුවන විරහව, දුක මෙන්ම ඇස උපන් කඳුළේත් අපූර්ව අවස්ථාවට  ගී රසිකයා කැඳවමින් විරහ කඳුළු සයුරේ ගිල්වමින් ඒ සුරම්‍ය රාත්‍රියේදී ගැලූ සඳ එළියේද තරු එළියේද මිහිරට ඉඩදෙමින් සිය ප්‍රසංගය නිමා කළේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ගීයෙනි.

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කලේ

සදානන්ද කරවූ 
ඔබේ මධුර රාවෙන්
පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ

ප්‍රේමය නම් කිමැයි
ඔබ මට කියා දුන්නෙහිය
දැන්මගේ පරමාර්ථය ඔබය
මගේ පරමාදර්ශය ඔබය
මගේ ඒකායන ප්‍රාර්ථනයද ඔබය

උදාවූ සුපෙම් දම්
නුසුන් වී රැ‍ඳේවා
මගේ පුංචි ලෝකේ
තැවුල් සංසි‍ඳේවා

ප්‍රේමයෙහි ද්වාරය
ඔබ මට විවර කළෙහිය
දැන් මගේ අතීතය ඔබය
මගේ වර්තමානය ඔබය
මගේ උත්තරීතර අනාගතයද ඔබය.

ඔබයි රම්‍ය සඳ කිරණ
ඝණ අන්ධකාරේ
ඔබයි සෞම්‍ය තරු එළිය
ගිම්හාන කලේ

ගේය පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගිතය: එච්.එම්.ජයවර්ධන
ගැයුම: නන්දා මාලනී




කතරක අතරමංව සිටින ගී රසිකයාට ඇයගේ ගී රාවය අමා පැන් දහරක් බඳු විය. අලුයම සිට පෝලිම්වල ලැග ගී රස විඳීමේ උණක් නැති  රසිකයෝ ඇයගේ ගී රස මිහිර විඳිනු රිසිව පැය ගණන් වරුගණන් පෝලිම්වල හිඳිමින් තම තමන්ගේ ටිකට් පත මිළදී ගත්හ.  පෝලිම්වල සිටි ගී ප්‍රසංග බැලිමට අකමැති රසිකයෝ ඇ‍යගේ ගී ප්‍රසංගය විඳීමට කැමැතිව රාත්‍රී ප්‍රසංගය සඳහා සවස තුනේ සිට තමන්ට රිසි තැනක සිට ප්‍රසංගය නරඹනු වස්  පෝලිමට එකතුව සිට කල් ගත කළහ. පමාවී පැමිණි පිරිස්  තමන්ට අහිමි අසුනට අරගල නොකර ලද ඉඩක ගල් ගැසුණාක් මෙන් දැහැන් ගතව හෝරා දෙකක් ඒ  මිහිරිම ගී රස වින්දාහ.

දශක පහක් පුරා ගලා ගිය ගී ගංගාවකින් තෝරාගත් ගීත විසිපහක් පැය දෙකක් තිස්සේ  ගී ගැයූ ඇය හඬා වැටෙන මිනිස් සිත් සන්තානයෙහි දෙතොළ පැළඳූ සිනාවකි.  යොවුන් වසන්තේ දුහුල් වලා පෙළක  ඔහේ පාව යනු නොදී සංසාර සා‍ගරේ පැදවූ රුවල් ඉරී  ගිය නෞකාවේ ඉවත විසිකර තිබූ කලාවැවෙන් ගත් දිය දෝතින් අකුරු කළ කුරුටු ගෑ ගී පොතෙහි ලොවම එපාවී ලොවම කළකිරී තරුද නිදන මහ රෑ ආලයවන් කවිකම් දුන්  කවියෙන් ලියූ , කඩමණ්ඩියේ දොල අයිනේ  පෙම් ලොවදී හමුවී  රාගයෙන් තොර සඳ එළියක්  බඳු අචින්ත්‍ය  ප්‍රේමයේන් මුසපත්ව හිඳ, මුලු නුවරම නිදිගත් මොහොතේ පෙර දා මහ රෑ සිහිලැල් උරමඬලේ  මුහුණ හොවාගෙන ළසොවින් හැඬූ  පානං පත්තුවේ ඩිංගිරි අම්මාමගේ දේශයේ ධර්මාධිකරණය ඉදිරියට කැඳවා පූජාසනයේ රැඳවූ ශ්වේත රාත්‍රිය  සුළං කපොල්ලේ තැනූ සවිමත් කැදැල්ලක් නොවේදැයි මටම සිතේ.෴


"ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ - ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කලේ"



වටිනා කාලය බිඳක් වැය කර ගී රස විඳිමින් කියවූ ඔබට  ස්තූතියි. වෙලාවක් ඇත්නම්  මීට වඩා වෙනස් වූ  ඔබේ විචාරාත්මක අදහසත් මෙහි ලියා තබන්න.


35 comments:

  1. පෝස්ට් එක නම් කියෙව්වා ඒත් කියන දෙයක් හිතාගන්න බෑනෙ.. :)

    ReplyDelete
    Replies
    1. හරී..

      මම කියන්න උත්සාහ කලේ නන්දා- සුනිල් - සිරස ත්‍රිත්වය කාලයකට පස්සේ රසිකයන් වෙනුවෙන් මතකයේ පවතින්න යමක් කර ඇති බවයි.

      ස්තූතියි ඔබට

      Delete
  2. මම බැළුව මොකද මේ ලිපිය පරක්කු කියලා.... දැනගෙන හිටියා දයානන්ද අය්යා ශ්වේත රාත්‍රිය බලන්න ගිහින් ඇවිත් සටහනක් තියනවමයි කියලා....

    පරක්කු වෙලා දැම්මට පාඩු නෑ.. හරවත් දීර්ග ලිපියක් ලියන්න කාලය අවශ්‍යයිනේ.. කල් යල් අරන් නන්දා මාලනියට උපරිම ගෞරවයක් දීලා.. ඒ වගේම සිරසටත්... සුනිල් ආරිය රත්නයන්ටත්..

    ජය ජය !!!


    ශ්වේත රාත්‍රියේ සී ඩී නිකුත් කරන ආරංචියක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්වේත රාත්‍රියෙ අලුත් ගීත නෑ ඇගෙ පරන ගීතවලට මහරාජා අයිතිය ශ්වෙතරාත්‍රිය හරහා ලබා ගත්තනම් නන්දා මාලිනියටත් දෙවියන්ගෙම පිහිටයි.

      Delete
    2. මීගොඩයා..

      නන්දා මාලනියගේ ස්වේත රාත්‍රිය ප්‍රසංගයේ ගැයූ සියලුම ගිත 25 ක් ඇතුළත්ව ඩීවීඩි එකක් විදියට තව මාසයකින් එනවා.

      ස්තූතියි ඔබටත්.

      ලොකු ජෝන්...

      ස්තූතියි ඔබටත් අදහසක් එකතු කළාට.

      Delete
  3. සුපුරුදු පරිදි ම අයියාගේ සටහන, චිත්ත රූප මවන නිසා අවසන් ප්‍රසංගය නොබැලුවා කියලා විශේෂයෙන් තැවෙන්න හේතුවක් වෙන්නේ නැහැ..අම්බලන්ගොඩ පැවැත්වුණු ප්‍රසංගය බලන්න නම් වාසනාව ලැබුණා. ඒ වගේ ම අයියාගේ කලින් සටහනත් කියෙව්වා. ශ්වේත රාත්‍රියෙහි විශිෂ්ඨත්වය පිලිබඳ කතා දෙකක් නැහැ.

    නමුත් ලොකු ජෝන් විඳි අත්දැකීම ම මාත් කිහිප වරක් විඳ ඇති නිසා සහ කලාකරුවා මාකට් කරන්න පුලුවන් තැන දී මාකට් කරවන උන්දැලාගේ කෙරුවාවන් මෙහිදීත්, මීට පෙරත් දැක ඇති නිසා ලොකු ජෝන්ගේ අදහස් වලට එකඟ වෙන්න සිදු වෙනවා!

    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. මේ වෙන දේවල් දකිද්දී නිර්මාණකරුවා සහ නිර්මාණය වියුක්ත සංරචක දෙකක් ලෙස සලකන්න සිද්ධ වෙනවා! එහෙම කරලා වත් නිර්මාණය රස විඳින්න ලැබීම යම් තරමක හෝ වාසනාවක්! :)

      Delete
    2. රැංගෝ..
      සංවාදයක් ඇතිවන තරමට මම කැමතියි. මොකද සිරස- නන්දා- සුනිල් මේ සංයෝගය මට වෙනම ආකාරයකට පෙනෙන නිසා. මෙතන සිරි මාධ්‍යයේ තිබුණ වාණිජ පරමාර්ථය තරගකාරී මාධ්‍යයට අභියෝගයක්. ඒක පැහැදිලියි. ඒත් ඒතුළ තිබූ කලාත්මක භාවය මෙරට කිසිම ප්‍රසංගයකට සමකරන්න බෑ.ඒතරම් උසස් රසවින්දන්යක් ගීත රසිකයාට දෙන්නට තරම් ඔවුන්ගේ සංයෝගය අපිටත් අපේ රටටත් වැදගත්, වඩා හොඳ වෙන්නේ මේ සිරස- නන්දා- සුනිල් සංයෝගයට අභියෝග කළ හැකි උසස් කලාත්මක කෘතියක් බිහිකිරීමයි. එවැන්නක් දකින තුරු "සිරසයි පාර කියන්නේ" යන ඔවුන්ගේ තේමාව පිලිගන්න සිදුවෙනවා.

      Delete
    3. උසස් රසවින්දනයක් ලැබෙන්නේ අදාළ කෘතියේ උසස් බවින් මිසක් ඔවුන්ගේ ප්‍රසංගය හේතුවෙන් ම කියලා කියන්න බැහැ. නමුත් සුභාවිත සංගීතය වෙනුවෙන් ඔවුන් කළ දෙය අගය කළ යුතු නැති බවක් එයින් කියවෙන්නේ නැහැ. නන්දා මාලිනි කියන්නේ මගේ ප්‍රියතම ගායිකාව. එහි කිසිඳු වෙනසක් ඇති වුණේ නැහැ. ඒ වගේ ම එවැන්නක් ඇති වේවි කියලා හිතන්නත් බැහැ.

      නමුත් නන්දා මාලිනි නම් හඬ අපට සංවේදී වන්නේ යම් නිශ්චිත රටාවක ගීත සමුහයක් හරහා. ඒ හරහා ගොඩ නැගුණු ප්‍රතිරූපයක් ඈ සතුයි. නමුත් ශ්වේත රාත්‍රිය ප්‍රසංගය සංවිධානය වී තිබුණේ ඇගේ ඒ ප්‍රතිරූපයට ගැළපෙන ආකාරයට නොවෙයි. ශ්වේත රාත්‍රිය ප්‍රසංගය හරහා ඇගේ ඒ ප්‍රතිරූපයට යම් හානියක් වුණා කියන එකයි මගේ අදහස.

      කපුගේ, සන්ෆ්ලවර්ස් සමග ගීත ගායනා කිරීමෙන්, ශ්වේත රාත්‍රිය වෙනස් වන්නේ ගීතයේ තත්වය හෝ නාද මාලාව මෙහිදී බාල වීමක් සිදු නොවීමෙන් විතරයි.

      අදාල සිදුවීම අපට ගැටළුවක් වන්නේ නිර්මාණකරුවා සහ නිර්මාණය එකට බද්ධ කොට සිතන්න යන නිසා. එය අපේ ගැටළුවක්. මගේ අදහස නම්, ගායිකාව සහ ගීතය වෙන් වෙන් ව සැලකීමෙන් අපට ඇති වුණු මේ වරදකාරී හැඟීම ඉවත් කර ගන්න පුළුවන්..

      Delete
    4. ඒත් නන්දා මාලිනියගේ ගීත ඇගෙන් වෙන්කොට කෙසේ අසන්නද? මම කියන්නෙ නන්දා සුනිල් සුසංයොගයකින් ගෙවුන ප්‍රසංගත් සිරස සමග කරපු මේ ප්‍රසංගයෙදි නන්දා මාලනියගෙ පංතිය හැලුනා. ඒත් ඒ හඬ වෙනස් උනේ නෑ ඒ හඬට අපි කවුරුත් ආදරෙයි ආසයි.

      Delete
    5. රැංගෝ../ ලොකු ජෝන්..

      ඇත්තටම කලාව සඳහා මිලක් නියම කිරිමත්, ඒඳහා සමාගමක් කරුවන් මැදිහත්විමත් මේ යුගයේ වලක්වන්නත්, එහෙම වැලැක්විමක් සිදුවුවහොත් ඒ කලාව පවත්වාගෙන යන්නත් අපහසුයි.
      අවාසනාවට මේ සියලු කලාකරුවෝ ඒ ප්‍රවාහය තුළ අසරණව සිටිනවා.

      ඇතැම්විට එහෙම නොකළොත් ඒ කලාව හෝ නිර්මාණය පවත්වාගෙන යාමට කලාකරුවාට දේශපාලන ශක්තිය සහ බලය තිබිය යුතුයි. ලංකාවේ කලාකරුවන්ට එහෙම වෙලා තියෙන්නේ. උදාහරණයක් විදියට රජයේ බැංකුවකින්/ මූල්‍ය සමාගමකින්/ සංස්ථාවකින්/ මණ්ඩලයකින් අදාල කලා කෘතිය හෝ ප්‍රසංගය පවත්වාගෙන යාමට අනුග්‍රහය ලබාගැනිමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා මූල්‍ය අනුග්‍රහයක් ලබාගන්න අදාල ආයතනය භාර දේශපාලඥයාගේ අනුමැතිය අවශ්‍යමයි.ඊට අමතරව ඉහළම දේශපාලන ප්‍රධානීන්ගේ අනුමැතිය සහ කලාකරුවා ඒ දේශපලාන පක්ෂය වෙනුවෙන් දැක්වූ සහයෝගය ඔප්පු කල යුතුයි.ඊටත් පස්සේ ලැබෙන අනුග්‍රහය පිළිබඳව භාරදෙන දැන්විම් ශාලාවේ ඇතුළත ප්‍රදර්ශනය කලයුතුයි. මෙන්න මේ කනගාටු දායක තත්වයට කලා කරුවා පත්ව සිටිනවා.

      ඒ අතින් බලන විට නන්දා මාලනිය මේ ප්‍රසංගයේදි සාර්ථකයි ඇගේ ප්‍රසංගය නැරඹිමට දේශපාලඥයන්ටත් ටිකට් එකක් ගන්න සිදුවුණා.ඒක බැරවෙන්නෙ අනුග්‍රාහකයාගේ ගිනුමටයි. ඒ නිසා ඇයටත්, ඇයගේ නිර්මාණවලට දායක වූ සැමටත් ආර්ථිකමය වාසි සිදුවුණා අදාල සමාගමෙන්. ඒ නිසා දේශපාලන අතකොලුවක් වනවාට වඩා සමාගමක අනුග්‍රහය හොඳයි කියල හිතෙනවා.

      ස්තූතියි රැංගෝටත් ලොකුජෝන්ටත්

      Delete
  4. ඇත්තෙන්ම සිංහල සංගීතයේ වත්මන සහ අනාගතය ගැන කතා කරන්නට හිතන්නට පොළඹවන සාරගර්භ ලිපියක් ...

    මගේ සිත් රැඳි හඬ අතර නන්දාමාලිනිය ප්‍රම්ඛයි , ඒ ඇගේ ඇති “ සිංහල ගැහැණියකගේ“ හඬ නිසාවෙන් ..අනෙක , සමාජයේ විවිධ තිර වලින් වසා ඇති “බොරුව“ “අසාධාරණකම්“ ...අමු අමුවේම නිරාවරණය කරන ඇගේ ගී පද තෝරා ගැනීම් ...එ තැනදි මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මුසුව මේ හඩේ නියම රස ලොවට බෙදන්නට ඉහළම දායකත්වයක් දරුවා .

    මෙවන් හරවත් , රසවත් , ලිපි සිංහල බ්ලොග් අවකාශයට එක් කරමින් , “සිංහල බ්ලොග් අවකාශය“ යනු සියළු රසයෙන් පිරි රස ගුලාවක් , දැනුමේ තෝතැන්නක් බවට පත් කරන්නට ඔබ කරනා මෙහෙය අගය කළ යුතුමයි ..

    අපේ සිතට සතුට එක් කරනවාට ඔබට බොහොම පිං ...නන්දාමාලිනයටත් දිගායු ලබමින් සිංහල ගී කෙත තවත් සරු සාර කරන්නට වාසනාව පතමි ..

    ReplyDelete
    Replies
    1. මහේෂ්..

      ස්තූතියි වටිනා අදහසටත් හැමදාම වගේ කරන අගය කිරිමටත්.

      Delete
  5. එවන් රසාලිප්ත ‍මො‍හොතක් හා දැහැන්ගත විමට ‍මේ සිත ‍මේ ‍නෙත ‍මේ සවන පින් කර ඇත්නම් කියා සිතුණා.......
    නුවර ව‍ගේ දුර බැහැර ප්‍රදේශයක ඉන්න වුණ එක ගැන ‍මේ ව‍ගේ ‍වෙලාවට සෑ‍හෙන්න දුක හි‍තෙනවා...

    ReplyDelete
    Replies
    1. සිත්තරී..

      ඔබ අස්වැන්නට පළමුවෙන්ම සාදරයෙන් පිලිගන්නවා. මේක බලනන බැරිවුණ එක නම් කණගාටුවක් තමයි.. ස්තූතියි සටහනට

      Delete
  6. ස්තුතියි මගේ ශ්වේත රාත්‍රිය .. එවන් සිරසක් කුමකටද මට ලිපියට සබැඳියක් ලබා දුන්නට මාදුටු ශ්වේත රාත්‍රිය එහි ලියවී ඇත.
    …ස්වේත රාත්‍රිය අවසන්ව දොරටුවෙන් එලියට එනවිට මා සමග ගිය තාත්තාගෙන් කොල කැබැල්ලක් ඉල්ලාගෙන කුරුටු ගෑ පදපෙල පමනක් මෙහි සටහන් තබන්නම්

    කොටහේනේ හැටේ වත්තෙ
    කෝට් මහන කෝට් බාස්
    මගේ තාත්තා කියන්න පැකිලුනේ නැ නුබ...
    කට්ටා සෙරප්පු පැලඳ
    මම පාසැල් ගියා
    ඒ ගැන කියන්න බිය උනේ නෑ නුබ...
    අයුක්තිය රජයන කලක
    …"පවනක්"මවී
    ඒ හැලුන ලේවලට පන්නරය උනා නුඹ...
    ධන කුවේර මුදලට නුබේ ඒ පන්තියම
    අද අමතක කලාද නුඹ ? …


    …ඒත් මගේ ඒදත් අදත් හෙටත් ප්‍රියතම ගායිකාව ඇයයි. මගේ අදහසනම් නන්දා සහ සුනිල් සුසංයෝගය මිස එහි තුන්වන පාර්ශවයක් ඇවැසි නැතිබවයි

    ……..::මම ආතම්මගෙ පෙට්ටගම ලියන ලොකුජෝන්::..

    ReplyDelete
    Replies
    1. ලොකු ජෝන්..

      මේ කාලෙ තුන්වන පාර්ශවය වෙන්නෙ සමාගම් කරුවෝ එහෙමත් නැත්නම් දේශපාලකයෝ. ඒ මැදැිහත්විම නොමැතිව කලාව ඉදිරියට පවත්වාගෙන යා නොහැකියි. ඒනිසා දේශපාලනය මැදිහත්වෙනවාට වඩා සමාගමක් හොඳයි කියල මට හිතෙනවා.

      ස්තූතියි සංවාදයට ලක්කලාට

      Delete
  7. නන්දා මාලිනියගේ ශ්වේත රාත්‍රිය ගැන මගෙත් ඇත්තේ පහන් හැඟීමක්!බොහෝ දෙන ඇයට මිලක් නියමවීම ගැන දොස්මුර තැබුවත් මගේ නම් අදහස මේ ක්‍රමය තුල මිලක් නොමත්තක් පැවතිය නොහැකිය යන්නයි!එහෙම මිලක් නියම නොකරගෙන හිටපු ශ්‍රේෂ්ට කලාකාරයෝ කොච්චර නම් හිටියද ලංකාවේ!සුගතපාලද සිල්වාවගේ මිනිස්සු තමන්ගේ අවසාන කාලයේ බොහොම අමාරුවෙන් ජීවත් වෙච්ච බව නොරහසක්!පහුගිය දවස්වල පිළිකාවකින් අප අතරින් සමුගත්ත තිලක් ජයරත්නල,ඒ මිනිස්සුන්ට බැරි වෙනකොට කව්ද බැලුවේ?හදවත් උණුවෙන රසිකයෝ ගියාද?? නැහැනේ! එනිසා නන්දා මාලිනිය නිවැරදිය!අය මේ රටාව තුල රසිකයන්ගේ රසවින්දනය උදෙසා කල හැකි උපරිමය කළාය!
    මමත් බලපු හොඳම ප්‍රසංග වලින් එකක් බව කිව යුතුමය!:)

    ReplyDelete
    Replies
    1. නන්දාට මිලක් නියම වීම වැරද්ද්ක් නෙමයි මම හිතන්නේ ඒක මීට වඩ වැඩිවෙන්න ඔනේ. මම් කියන්නෙ එයාගෙ පන්තියෙ අයගේ රුපියල එයාට ලැබුනෙ නෑ කියලා . නන්දා මාලනී රුපියල් වලට වඩා මිනිස්සුන්ගෙ ආදරය හම්ම්බකරගෙන තියනවා. මම් කියන්නෙ ඒකට මිලක් නියම කරන්න බෑ කියලා

      Delete
    2. නුවන්../ ලොකු ජෝන්...

      නුවන් ඉන්න මතයේ මමත් ඉන්නවා.. නන්දා මාලනිය ජනතාවගෙන් දිනාගත් ආදරයට ගෞරවයට කිසිදාක මිලක් නියම කල නොහැකියි. ඒ අය තවමත් ජනතාව තුල සිටින නිසා.

      Delete
  8. අද ටිකක් පමා උනා මේ පැත්තට එන්නට නිදහසේ ලිපිය බලන්න ඕන නිසා . ශ්වේත රාත්‍රිය ගැන
    …ඔබත් , ලොකු ජෝනුත් මේ දෙස බැලූ ආකාරය ඔබලාගේ ලිපි තුලින් දැක ගත්තා . මා හට අහිමි උනේ කොතරම් හොඳ අවස්ථාවක්ද කියා සිතුනා .
    …කෙසේ වුවත් ඔබගේ ලිපිය තුලින් හැමදාමත් දැනෙන සජීවි බව නොඅඩුව විඳගත්තා .

    ReplyDelete
    Replies
    1. ගිම්හානි..

      ස්තූතියි අදහසක් එකතු කළාට

      Delete
  9. මේ පෝස්ට් එක අප්ලෝඩ් වෙලා තිබුනේ නෑ මගේ බ්ලොග් රෝලේ.:(

    පිස්සු හැදෙනවා මේ සිංදු ඇහැව්වාම. එච්චරටම ලස්සනයි. ආසම හිතුනේ අර 'සංසාර සාගරේ ජීවිත යාත්‍රාව' කියන සිංදුව. ලස්සන තේරුමක්. නන්දා මලිනීගේ හැම ගීයක්ම එක වගේ ලස්සනයි. ආයම පාරක් පෝස්ට් එක කියවන්ට ඕනි. කරුණු ගොඩක් හිතට දාගන්ට තියන හන්දා.:)

    ලොකු ජෝන්ගේ ලිපියත් බලන්ට ඔනේ එතකොට දෙන්නා බලලා තියන විදිය තේරුම් ගන්ට පුලුවන් වෙයි.

    ReplyDelete
    Replies
    1. පොඩී..
      පරිගණකයේ මෑතක සිට පොඩ් අවුලක් තියෙනවා. ඒකයි නිසි පරිදි වැඩකරන්නෙ නැත්තේ. ලොකු ජෝනුයි මමයි එකටම ප්‍රසංගය බැලුවත් අවාසනාවට මට ජෝන්ව හමුවුණේ නැහැ.

      ස්තූතියි පොඩී අවඅවේකි කාලයෙන් බිඳක් වෙන්කලාට

      Delete
    2. ලොකු ජෝන් මුන නොගැහුන එකනම් ඔයාගේ අවාසනාවක් නෙමේ වාසනාවක් කියල හිතන්න . මොකද එයා ලග හිටියනම් ඔයාට ඕක බලන්න වෙන්නෙ නෑ . තොර තෝන්චියක් නැතුව කියවයි :D

      Delete
    3. අන්න වයර් මාරු කරගත්තා මගේ නිර්මාන රසවිඳීමෙ ක්‍රමය ගැන නොදැනයි ඔය කතා කරන්නේ අඩුතරමින් මම මගේ පවුල සමග නාට්‍යයක් සංගීත ප්‍රසංගයක් අඩුමතරමේ චිත්‍රපටයක්වත් බලන්න නොයන්නේ ඒ රසවිඳීම තනිවම ලබන්න ඕනදෙයක් මිසක් තවකෙනෙකුන් සමග ලබන්න බෑ කියලා මම දන්න නිසා . අනික ඉස්සරහට වෙනදේ වෙන්න යනදේ ගැන කියවමින් ඕවා රසවිඳින්න බෑ. ඒක දන්න මම ඒ දේ වෙන අයට කරනවද.

      …හැබැයි අපි දෙන්න ශ්වේත රාත්‍රිය දෙවිදියකට දුටු නිසා හමු උනානම් සුහද මත ගැටුමක් නම් වෙන්න තිබුනා .... හික් හික්

      Delete
  10. // කල් යත්ම සිරස ගුවන්විදුලිය මාධය ආයතනයක් ලෙස තමන් සිදුකල වැරැද්ද ඔවුන් විසින්ම අවබෝධ කරගත්තේය//

    මේකනම් ලොකු දෙයක්.

    ස ප්‍රසංගයයි ස්වේත රාත්‍රියයි දෙකම දෙකම කාලයේදී අවසන් කලේ ඇයිද දන්නේ නැහැ. අපි වගේ තවත් ගොඩක් අයට ඔය ප්‍රසංග දෙකම මග හැරෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒ වැරැද්ද තාම තියෙනවා KKV ටාසන්ලා තාම ඉන්නවා ඊට හපන් අයව ගෙනත් තියනවා පොඩිඋන්ගෙන් හම්බ කරනවා. එහෙම කරනකොට කියන්න පුලුවන්ද තමන් කරපු වැරැද්ද හරි ගස්ස ගත්තා කියලා ඒ කුණු ගොඩ වහගන්න අපේ සංගීතයේ ඉතුරුවෙලා තියන අනන්‍යතාවය මාකට් කරනවා . ඒක නැ කියලා කාටහරි කියන පුලුවන්ද ?

      Delete
    2. සයුරි./ ලොකු ජෝන්...

      "ස" ප්‍රසංගයනම් වසර 39 ක් තිස්සේ ප්‍රසංගවාර 1450 දුර ආවා. ඒත් ස්වේත රාත්‍රිය ප්‍රසංග 25 යි. ස්වේත රාත්‍රිය සමාගම සමග එළඹි ගිවිසුම අනුව එසේ කරන්න ඇතිකියා හිතෙනවා මොකද සිරස අනුග්‍රහය
      දැක්වුවේ විශාල මුදලක් ආයෝජනය කරලා.

      ලොකු ජෝන්: KKV ටාසන්ලා තාම ඉන්නවා වගේම තාම හරසුන් වැඩ එමට තියෙනවා.

      ස්තූතියි සයුරිටත් ලොකු ජෝන්ටත්

      Delete
  11. ලිපිය කියවලා අවසන් වූවාම ලොකු දුකක් හිතට දැනුණා. ඒ වෙනයම් දෙයක් නිසා නොවේ, කාලයක් තිස්සේ බලන්නට පෙරුම්පුරාගෙන සිටි ප්‍රසංගයක් බැලීමට නොහැකිවූ නිසා. අත්‍යාවශ්‍ය දේකට පෙර සතියේ දිගු නිවාඩුවක් ගත් නිසා ඒ සතියේ නිවාවු ගැනීමට කිසිම හැකියාවක් තිබුනේ නෑ. සජීවී ප්‍රසංගයක අත්දැකීමක් අසලින්වත් තබන්නට නොහැකිවූවත් හිතේ දුක තුනීවන්නට ලිපියේ තිබූ ගීත ටික ඇසුවා. නන්දාමාලනියගේ නිහතමානීත්වය මම ගොඩාක් අගය කරන දෙයක්. මෑතක ඇය සහභාගිවූ වැඩසටහන ඇය ගෙවූ කටුක අතීතය සිහිපත් කළා."අපේ තාත්තා කෝට් බාස් කෙනෙක්" කියන්න ඇය කිසිදා පැකිලුනේ නෑ. තව තවත් ගයන්නට ඇයට දීර්ඝායු ලැබේවා...

    ReplyDelete
    Replies
    1. තොටියා..

      සජීවි ගී ප්‍රසංගයක් විශේෂයෙන් නන්දා මාලනියගේ මග හැරීම කනගාටුයි තමයි.

      ස්තූතියි ඔබටත්.

      Delete
  12. මේ පෝස්ට් එක මගෙ බ්ලොග් රෝලේ අප්ඩේට් උනේ නෑ... නිකමට අස්වැන්නට ආවම තමා අලුත් එකක් ලියල තියෙන බව දැක්කේ... සෑම ගීතයකටම නැති උණත් නන්දා මාලනියගේ බොහෝ ගීත වලට මම ප්‍රියයි..

    ReplyDelete
    Replies
    1. අනූ..
      ස්තූතියි ඔබටත්.පරිගණකයේ මෑතක සිට පොඩ් අවුලක් තියෙනවා. ඒකයි නිසි පරිදි වැඩකරන්නෙ නැත්තේ.

      Delete
  13. ස ප්‍රසංගය වගේම ශ්වේත රාත්‍රියත් අවසන් සංදර්ශනයට ගිහින්...බලන්න නොලැබීම දුකක්... නන්දා මාලනිය මා ප්‍රිය කරන ගායිකාවන් අතරුන් එක් අයෙක්...කැමති බොහෝ ගීත තියෙනව...
    නිහතමානී ඇගේ ගැන ඉදිරිපත් කර ඇති ලිපියට බොහොම තුති.

    ReplyDelete
  14. සුදු වත ඇදි කත රට සනසන සැටි
    සුමියුරු ගි පද සුනිල වලාහි මැවෙනා සැටි
    පෙර පින් යුවලක් රසික සිත් නලවන සැටි
    කදිමයි,අස්වනු සරුවට වපුරා ඇති සැටි

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...